දේශීය

වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් නොලැබුණු බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ.

ලබන වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

කඩා වැටී තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත්කොට ඇති බවත්, එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සහාය ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කළා.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව එම සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය වූ බවයි සුගතදාස මහතා ප්‍රකාශ කළේ.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සංකිර්ණයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා කියා සිටියේ.

Shares: