පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ ඇතුළු උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය කාලසටහනේ වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ, ඊයේ (18) බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්ඉන්න – ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පැමිණි පස් කන්දක ගැටී පිලි පැනීමට ලක්වීම හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ උඩරට දුම්රිය මාර්ගය ඉදල්ගස්ඉන්න – ඔහිය අතර අවහිර වී තිබෙන බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව – නානුඔය සහ බදුල්ල – බණ්ඩාර වෙල අතර පමණක් සීමා කර ඇති බවයි.
දුම්රිය පීලිගත කිරීම සහ අවහිරය ඉවත් කිරීමට එම දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර, එම තත්ත්වය යතාවත්වනතුරුයි අද දින දුම්රිය ධාවනය කාලසටහනේ වෙනසක් සිදුකර ඇත්තේ.
ඒ අනුව, වෙනස් වූ දුම්රිය කාලසටහන පහතින්,
- අද දින බදුල්ල / දෙමෝදර / බණ්ඩාරවෙල අතර ධාවනය වන Calipso සංචාරක දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වේ.
- බදුල්ල සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් බදුල්ල -නානුඔය අතර ධාවනය නොවන අතර, උඩරට මැණිකේ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09.23 සහ පොඩි මැණිකේ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයෙන් ප.ව.12.13ට අද දින ගමන් ආරම්භ කර කොළඹ කොටුව බලා ධාවනය වේ.
- කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ (පෙ.ව.05.55) සහ උඩරට මැණිකේ දුම්රියන් අද දින නානුඔය දක්වා පමණක් ධාවනය වේ. උඩරට මැණිකේ දුම්රිය අද දින පමණක පෙ.ව. 9.45ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරේ.
- කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල දක්වා පෙ.ව.09.45 ට ධාවනය කිරීමට නියමිතව තිබූ අංක 1007 දුම්රිය අද දින අවලංගු වේ.
- බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා පෙ.ව. 10.20 ට ධාවනය කිරීමට නියමිතව තිබූ අංක 1008 දුම්රිය අද දින අවලංගු කෙරේ.
තවද, අවලංගු වූ දුම්රියන් සඳහා මුදලට ආසන වෙන්කරවාගෙන ඇති මගීන්ගේ එම මුදල් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම ඇති ඕනෑම දුම්රිය ස්ථානයකින් ලබා ගැනීමට පහසුකම සලසා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.











