දේශීය

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව කැඳවීමට දෙන දෙයි

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසිනුයි මේ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරු සඳහන් කළේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවයි.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යවා අදාළ ඉදිකිරීම පිළිබඳ පරීක්ෂාවක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලයට අනුව සුදුසු තීන්දුවක් ගැනීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වූවා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසයි නියම කළේ.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශ්වයට දැනුම් දුන්නා.

Shares: