දේශීය

වසරේ මුල් මාස 10 තුළ ලංකාවේ අ.ඩො.බි 14.4 ඉක්ම වූ අපනයන ආදායමක්

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0%ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

එහිදී මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14,433.82ක්.

එය 2024 වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්වන අතර, වසරක මුල් මාස දහය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව ද වනවා.

මෙම කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ප්‍රථමවරට අමෙරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා යාම ද විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසුවේ,

“මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ වාර්තා වූ ඉහළම අපනයන අගයයි. ප්‍රධාන බටහිර වෙළෙඳපොළවල් අඛණ්ඩව යථාතත්ත්වයට පත්වීම සහ දේශීය කර්මාන්ත විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර නිෂ්පාදන ධාරිතාවය මෙම වර්ධනයට දායක වී ඇත. අපගේ අපනයනකරුවන්ගේ ශක්තිමත්බව සහ කැපී පෙනෙන ක්‍රියාකාරිත්වය පිළිබඳව මම ප්‍රශංසා කරමි. විශේෂයෙන්, මෙම කාලය තුළ වාර්ෂික අපනයන ඉලක්කය වන අමෙරිකානු ඩොලර් බිලියන 18න් 80%ක් දැනටමත් සාක්ෂාත් කර ගෙන ඇත.

2025 ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා අංශයන්හි මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,474.38ක් විය. එය 2025 සැප්තැම්බර් හා සසඳන විට මාසිකව 2.2%ක වැඩිවීමක් පිළිබිඹු කරයි. ඔක්තෝබර් මාසයේ කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත් බව, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරගකාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගවල අඛණ්ඩ ඵලදායීතාවය අවධාරණය කරයි. සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍රධාන ශක්තියක් වී ඇත. 2025 ඔක්තෝබර් මාසයේදී සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 316.14 කි. වසරේ මුල් මාස දහය තුළ සේවා අපනයන ආදායමේ වර්ධනය 4.01% කි. එය අමෙරිකානු ඩොලර් මිලියන 3,060.21 ක් වේ. මෙම ප්‍රවණතාවය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම සහ එය ජාතික අපනයන ආදායම සඳහා ඉවහල් වන ආකාරය පිළිබිඹු කරයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදුකරයි.”

යනුවෙනුයි.

Shares: