පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.
‘දිට්වා’ සුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 30 වෙනිදා වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එම පද්ධතිය ඊයේ දින ප.ව. 11:30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 70ක් වයඹ දෙසින්, අක්ෂාංශ 9.0°N සහ දේශාංශ 80.8°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බවයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසද ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර අද දිනයේ උතුර, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.
එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි නිවේදනය කරන්නේ.
එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවද නිවේදනයේ දැක්වෙනවා.










