උණුසුම් පුවත්

කොත්මලේ, රම්බඩගම ආසන්නයේ කොටසක් නායයයි

කොත්මලේ, රම්බඩගම ආසන්නයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වනවා.

මෙම නායයෑම පසුගිය 27 වනදා රාත්‍රීයේ සහ ඊයේ (28) දින පාන්දර වනවිට සිදුව ඇති බවයි එම ස්ථානයේ නිවසක සිටින පුද්ගලයෙකු විසින් අනාවරණය කළේ.

නුවරඑළිය – පූඬළුඔය මාර්ග දෙක අතර රම්බඩගම ගම්මානය මැද කොටස මෙලෙස නායගොස් ඇති බවට වාර්තා වූවා.

එම ස්ථානයේ නායයෑම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු පවා ඇති අතර වාර්තා වන්නේ ඒවා ඉවත් කිරීමට හෝ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට නොහැකිව ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.

කෙසේවෙතත් මේ වනවිටත් එම ප්‍රදේශයට විදුලිය නොමැති අතර, දුරකථන සංඥා සියල්ල ක්‍රියා විරහිත වී තිබෙනවා.

පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් එම නායයෑම හේතුවෙන් එම ස්ථානයේ සිරවී ඇති අතර, අවට ජනතාව මුදාගැනීමට කඩිනමින් අවශ්‍ය පියවර සකස් කර දෙන ලෙසයි එම ස්ථානයේ විපතට පත් ජනතාවගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම එම ස්ථානයට ළඟා වීම සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, ආපදා සහන කණ්ඩායම් කිසිවෙකු මේ වන තෙක් අදාළ ස්ථානයට ළඟා වී නොමැති බව සඳහන්.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ, නායයෑම් පිළිබඳ තොරතුරු වාර්තා වුවත් ඒ පිළිබඳ නිශ්චිත කරුණු අනාවරණය කරගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

සන්නිවේදන සබඳතා බිඳවැටීම හේතුවෙන් මේ පිළිබඳ තොරතුරු ලබාගැනීම අසීරු වන බව ද පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

Shares: