උණුසුම් පුවත්

විදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක්

ඇතිව තිබෙන ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්, ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය කේන්ද්‍රීය ස්ථානය ලෙස ක්‍රියා කරන බවයි වාර්තා වෙන්නේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ සියලුම ආධාර ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ යහපත සඳහා යොමු කරනු ලබන බවත්, එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සහතික කරන බවයි.

ආධාර කළමනාකරණය කිරීමට අමතරව, විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික ජාතිකයින්ට ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින ඔවුන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධවීමටත් මෙම ඒකකය සම්බන්ධීකරණ ස්ථානයක් ලෙස ක්‍රියා කරන බවද එහි සඳහන්.

එමෙන්ම අවශ්‍යතා ඇති අයට ජාත්‍යන්තර සහයෝගය සහ විදේශයන්හි සිටින ආධාරකරුවන්ගේ සහාය කඩිනමින් සහ කාර්යක්ෂමව ළඟා කර දීමට ද පහසුකම් සපයනු ඇති.

ආපදාව සම්බන්ධයෙන් පුළුල් හා ඵලදායී ප්‍රතිචාරයක් තහවුරු කිරීමට මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වනවා.

Shares: