දේශීය

රන්වල මුහුණ දුන් අනතුර ගැන විමර්ශන අරඹයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේද, මාස 6ක බිලිදියක් රිජ්වේ ආර්යා ළමා රෝහලේද නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වුට්ලර් මහතා එහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම අනතුරේ රියදුරන් බීමත්ව සිටියාද යන්න පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබෙන බවත්, එහි ප්‍රතිඵලය මත තනතුර තරාතිරම බාධාවක් කර නොගෙන පොලීසිය කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් මන්ත්‍රි අශෝක රන්වල මහතා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම නිසා පෙරදින ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසිය ගත් උත්සාහය ව්‍යර්ථ වූ බවයි හෙතෙම පවසා සිටියේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අද දහවල් වනවිට වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම මේ දක්වා කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Shares: