විදෙස්

ශ්‍රී ලංකා – ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අලුත් කරයි

 

ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර අත්සන් තබා තිබූ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම ඊයේ (12) ඉතාලියේ රෝමයේදී නිල වශයෙන් අලුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොඩ්‍රිගෝ ගිවිසුමට අත්සන් තැබූ අතර, ඉතාලි රජය වෙනුවෙන් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ට්‍රිපෝඩි (Maria Tripodi) අත්සන් තැබුවා.

2021 වසරේදී මෙම ගිවිසුමේ වලංගු කාලය අවසන් වූ අතර, ඉන් අනතුරුව රටවල් දෙකේ මෝටර් රථ ප්‍රවාහන/ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡා ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරමින් මෙම අත්සන් තැබීම සිදුවූවා.

මෙම රියදුරු බලපත්‍ර ගිවිසුම මගින්, එක් එක් රටේ ස්ථිර පදිංචිය ලබා ඇති පුද්ගලයන්ට තම ජාතික රියදුරු බලපත්‍රය, අනෙක් රටේ බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට පහසුකම් සලසයි.

මෙම ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ප්‍රථම වරට අත්සන් කරන ලද්දේ 2011 වසරේදී වන අතර, 2021 දී කල් ඉකුත් වීමට පෙර 2016 දී එය අලුත් කර තිබුණා.

මෙම ගිවිසුමට අනුව, අදාළ රටේ වසර හයකට අඩු කාලයක් පදිංචිව සිටින ජාතිකයින්ට න්‍යායික සහ ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණ නොදී බලපත්‍රය පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.

මෙම පහසුකම ඉතාලියේ වෙසෙන සහ සේවය කරන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ඉතා අගය කරනු ලබන අතර, එය ඔවුන්ගේ රැකියා අවස්ථා සහ අනාගත සේවා නියුක්ති හැකියාවන් වැඩිදියුණු කිරීමට, එමෙන්ම ඵලදායී විදේශීය ප්‍රජාවක් ලෙස ඉතාලියට දායක වීමටත් පහසුකම් සලසනවා.

රජයන් දෙක විසින්ම සනාථ කිරීමෙන් පසු, ගිවිසුම දින 60ක් ඇතුළත බලාත්මක වනු ඇති.

ගිවිසුම බලාත්මක වූ පසු දෙපාර්ශ්වය විසින්ම ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

Shares: