සීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වනඅලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිහින්තලය පොලීසිය සමත්ව තිබෙනවා.
මෙම හිංසාවට ලක්වූ වනඅලියා මිහින්තලය පොලීස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටි අතර අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වු රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නියගමනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වූවා.
ඒ අනුව මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියාට ගිනි තබා සත්ත්ව හිංසාව සිදුකිරීමේ වරදට ඊයේ (17) දින සවස මිහින්තලය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙක්.
සැකකරුවන්ව අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.










