අද (19) උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 201ක්.
දෙවනියට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ උඩුදුම්බර පොත්තපිටියට වන අතර එය වාර්තා වී ඇත්තේ මිලිමීටර් 155ක වර්ෂාපතනයක් ලෙසයි.
මේ අතර ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බවද අද උදෑසන 6ට නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව මෙලෙස වාන් දැමීම සිදුවනවා.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දැමීම ද සිදුකෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය වාන් දමමින් ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ද වාන් දමමින් ඇති බව ද එහි සඳහන්.
ඒ අනුව කලාවැවේ වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබෙනවා.
එසේම රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 5 බැගින් සහ තවත් වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නාච්චාදූවේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින් සහ තවත් වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා.
අංගමුව ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු ගණන 2ක් වන අතර ඒ අඩි 2 බැගින්.
මේ අතර පස් කණ්ඩි කඩාවැටීම් ඇතුළු සිදුවීම් නිසා බදුල්ල, මාතලේ, කිලිනොච්චිය, කෑගල්ල, අනුරාධපුරයේ මාර්ගවල ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
තවද පොළොන්නරුවේ සුංගාවිල – සෝමාවතිය මාර්ගය ජලගැලීම් හේතුවෙන් අවහිර වී ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.











