දේශීය

ගන්දර ධීවර යාත්‍රාවෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සැකකරුවන්ට රැඳවුම් නියෝග

දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ධීවර යාත්‍රාවක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් සැකකරුවන් දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි.

පසුගිය 20 වන දින දකුණු මුහුදු තීරයේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේ දී එහි මත්ද්‍රව්‍ය අඩංගු බවටයි නාවික හමුදාව විසින් සොයාගනු ලැබුවේ.

ඒ අනුව එම ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (24) දිනයේ දික්ඕවිට වරාය වෙත රැගෙන ආ අතර එම තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය ඉරානයට අයත් නෞකාවකින් අදාළ ධීවර යාත්‍රාවට ලබාගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හයදෙනෙකු මිරිස්ස ධීවර වරායේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සඳහා සහාය පල කර ඇති බවටයි සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

මේ අතර නාවික හමුදාව ප්‍රකාශ කළේ මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු සහ බහුදින ධීවර යාත්‍රා 99ක් පමණ මේ වසරේ දී සිය භාරයට ගෙන ඇති බවයි.

මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ අදාළ යාත්‍රා සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදි සැකකරුවන් 360 දෙනෙකු පමණ භාරයට ගත් බව ද ඔවුන් කියා සිටියා.

එමෙන්ම මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ නාවික හමුදා භාරයට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 4,000කට අධිකයි.

ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,982යි ග්‍රෑම් 600ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,050යි ග්‍රෑම් 100ක් වන බව සඳහන්.

මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 33ක්, මත්පෙති 1,683,722ක් දේශීය සහ විදේශීය ගංජා කිලෝග්‍රෑම් 5,900ක් ද සිය භාරයට ගත් බව ද නාවික හමුදාව කියා සිටියා.

Shares: