දේශීය

නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් – විපක්ෂ නායක

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සිය නත්තල් දින පණවිඩය නිකුත් කරමින්.

මෙවර නත්තල් උදාව අප වෙත පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතිය මුහුණදුන් වේදනාකාරී අත්දැකීම් මතකයේ තබාගෙන බවයි ඔහු එම නිවේදනයේ සඳහන් කරන්නේ.

මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වු දේශපාලනය නොව ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන රටේ අනාගතය ගොඩනගන සාධාරණ සහ දයාවෙන් පිරි රටක් ගොඩනැගීම බව විපක්ෂ නායකවරයා සිය නත්තල් දින පණිවුඩය මඟින්පෙන්වා දී තිබෙනවා.

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදින බවත් ඒ බලාපොරොත්තුවේ ආලෝකය වන බවයි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතු අතර, ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යා යුතු බවද එම සටහනේ වැඩිදුරටත් සඳහන්.

Shares: