වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ තමන්ට හිමි වූ නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රදානය කර තිබෙනවා.
ඒ විපක්ෂ නායිකාව සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැති හමුවකදීයි.
පසුගිය 2025 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මචාඩෝ සහ ජනාධිපති ට්‍රම්ප් මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව මෙයයි.
එක්සත් ජනපද හමුදා කැරකස්හිදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලාගෙන ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමෙන් සති කිහිපයකට පසුවයි මෙම හමුව සිදුවූයේ.
මෙසේ වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ අමෙරිකාවේ අත්අඩංගුවේ සිටින පසුබිමක එරට විපක්ෂ නායිකාව අමෙරිකාවට පැමිණ මෙලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවීම විශේෂත්වයක්.
හමුවීමෙන් පසුව ධවල මන්දිරයෙන් පිටත රැස්ව සිටි ආධාරකරුවන් අමතමින් මචාඩෝ පැවසුවේ, “අද දවස වෙනිසියුලානුවන් වන අපට ඓතිහාසික දිනයක්. අපගේ නිදහස වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් දැක්වූ සුවිශේෂී කැපවීම අගය කිරීමක් ලෙස මම මෙම පදක්කම ඔහුට පිරිනැමුවා” යනුවෙන්.
වසර 200කට පසු වෙනිසියුලානු ජනතාව විසින් එම ගෞරවය “වොෂින්ටන්ගේ උරුමක්කාරයා” වන ට්‍රම්ප් වෙත නැවත ලබා දෙන බවයි ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහනක සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ මචාඩෝගේ මෙම පියවර “අන්‍යෝන්‍ය ගෞරවයේ අපූරු සංකේතයක්” බවයි.
එමෙන්ම මචාඩෝ ”බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක්” බවත්, ඇයව හමුවීම “මහත් ගෞරවයක්” බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
මචාඩෝ පසුගිය සතියේ දිනක තමන් අමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බවත්, එහිදී වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමීමට කටයුතු කරන බවත් පවසා තිබුණා.
කෙසේ නමුත් මෙම ප්‍රකාශයට නෝර්විජියානු නොබෙල් කමිටුව සඳහන් කර තිබුණේ නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකු වෙත පිරිනැමීටම නොහැකි බවත්, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවයි.











