උණුසුම් පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙනුත් අනතුරු ඇඟවීම්

පවතින ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකළහොත් නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අනතුරු අඟවනවා.

මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් එම සංගමය පැවසුවේ මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පවතින පරිපාලන අකාර්යක්ෂමතාවයන් හේතුවෙන් මගී ජනතාවට මෙන්ම දුම්රිය සේවකයින්ටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.

දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය බඳවාගැනීමේ පරිපාටියට අදාළ අන්තර් කාලීන විධිවිධාන සකස් කර ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින අතර එය දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර රාජකාරි කාර්යක්ෂමතාවයටත්, සේවකයින්ගේ මානසිකත්වයටත් අහිතකර ලෙස බලපා ඇති බවයි ඔවුන් පැවසුවේ.

එමෙන්ම, රජය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ලබා දෙන ආපදා ණය මුදල රු. 400,000/- ක් දක්වා ඉහළ දමා ඇති පසුබිමක දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම මුදල රු. 250,000/- ක් දක්වා අඩු කර ලබා දීමට තීරණය කිරීම බරපතල ගැටලුවක් බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලිය රජයේ නිල තීරණයක් සෘජුවම හෑල්ලුවට ලක් කිරීමක් වන අතර, දුම්රිය සේවකයින්ට සිදුවන බරපතළ අසාධාරණයක් බැවින් එ සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන බව එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම දුම්රිය ධාවනය නිසි ලෙස සැලසුම් නොකිරීම, කාලසටහන් අක්‍රිය වීම සහ මෙහෙයුම් දුර්වලතා හේතුවෙන් දිනෙන් දින මගී ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමින් පවතින අතර මෙම තත්ත්වයට දෙපාර්තමේන්තු පරිපාලනය සෘජුව වගකිව යුතු බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Shares: