උණුසුම් පුවත්දේශීය

විදුලිබල ක්ෂේත්‍රයේ වර්ජනය උත්සන්න වෙයි – 40% වැටුප් ඉල්ලීම ලබාදෙනවා නම් විදුලි ගාස්තු 100%කින් වැඩිවිය හැකියි

විදුලිබල ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වර්ජනය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, එම වෘත්තීය සමිති විසින් ඉල්ලා ඇති 40% ක වැටුප් වැඩිවීම ලබා දෙනවා නම් රට පුරා විදුලි ගාස්තු 100% කින් පමණ ඉහළ දැමීමට සිදුවිය හැකි බව ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු (පුද්ගලික) සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා අනතුරු අඟවා තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම්වල කළමනාකාරිත්වය අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ වෘත්තීය සමිති විසින් ඉල්ලීම් 64ක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අතරින් 62ක් සඳහා මේ වනවිටත් එකඟතාවය පළ කර ඇති බවත්ය. ඉතිරි ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කිරීමට යොමු කර තිබෙන බවද සඳහන් කර තිබෙනවා.

තවද, සේවකයින්ට ජීවන වියදම් දීමනාවක් ලෙස රුපියල් 11,000ක් වැටුප්වලට එකතු කිරීමටද කළමනාකාරිත්වය එකඟ වී ඇති අතර, එමඟින් සාමාන්‍ය සේවකයෙකුට මාසිකව රු. 17,000ක් පමණ අමතර ගෙවීමක් ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, යෝජිත 40% වැටුප් වැඩිවීමක් ක්‍රියාත්මක කළහොත් මාසික වැටුප් වියදම් රුපියල් බිලියන 1.8කින් ඉහළ යා හැකි අතර, වාර්ෂිකව එය රුපියල් බිලියන 22කට ආසන්න මූල්‍ය වියදමක් බවට පත්වන බවද කුමාරතුංග මහතා පැහැදිලි කර තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ රටේ මහජනතාව, කර්මාන්ත සහ සමස්ත ආර්ථිකය වෙත දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත්, අවශ්‍ය වුවහොත් විදුලි ගාස්තු 100% කින් පමණ වැඩි කිරීමට සිදුවිය හැකි බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

එසේම, අලුතින් පිහිටුවන ලද සමාගම් මෙහෙයුම් ආරම්භ කළේ ඊයේ පමණක් වන අතර, එතැන් සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් එම කටයුතුද අඩාල වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නා.

Shares: