ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකරන බව කියන බෝම්බ ප්‍රහාරයන් අතර, ඉරාකයේ කඳවුරු බැඳ සිටින සන්නද්ධ ඉරාන කුර්දි සටන්කාමී කණ්ඩායම් ඉක්මනින්ම ඉරාන දේශසීමාව හරහා ගොස් ඉස්ලාමීය ජනරජයට එරෙහි සටනට එක්විය හැකි බවට නව සැකයන් මතුව තිබෙනවා.
මෙම පසුබිමට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කුර්දි සටන්කාමී කණ්ඩායම් කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, එවැනි ප්‍රහාරයකදී බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එක් සටන්කාමියෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
එසේම, මැදපෙරදිග තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු 7 දින ප්‍රකාශ කර ඇත්තේ කුර්දි සටන්කාමීන් ඉරානය තුළ සටන් කිරීම තමන්ට දැකීමට කැමැත්තක් නොමැති බවයි.
මේ අතර බීබීසී පුවත් සේවය සදහන් කරන්නේ කුර්දි සටන්කාමී කණ්ඩායමක් වෙත ප්‍රවේශ වීමට දුර්ලභ අවස්ථාවක් ලැබී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ගෙන් සමන්විත රහසිගත හමුදා බලකායක් බව අනාවරණය වී තිබෙනවා.
ඉරාකයේ උතුරු ප්‍රදේශයේ කඳුකරය තුළ ගැඹුරු ගුහා සහ භූගත උමං මාර්ග භාවිතා කරමින් මෙම කණ්ඩායම් රහසිගතව කඳවුරු බැඳ සිටින අතර, ඔවුන් බාහිර ලෝකයෙන් බොහෝ දුරට වෙන්වී ජීවිතය ගත කරමින් සිටින බව සඳහන් වනවා.
පසුගිය දශක කිහිපය තුළ ඉරානයේ කුර්දි කැරලිකාර කණ්ඩායම් කිහිපයක් ඉරාක දේශසීමාව හරහා මෙම කඳුකර ප්‍රදේශවලට පැමිණ සිටින අතර, ඔවුන් ඉරාන බුද්ධි අංශ, ඉරාකයේ ෂියා හිතවාදී කණ්ඩායම් සහ තුර්කි හමුදාවන්ගෙන් සැඟවී සිටින බවත් වාර්තා වෙනවා.
මෑතකාලීනව ඉරාකයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන ප්‍රධාන ඉරාන කුර්දි කණ්ඩායම් කිහිපයක් සන්ධානයක් පිහිටුවා ගෙන ඇති අතර, එම නායකයින් සමඟ ඇමෙරිකානු නායකත්වය සම්බන්ධතා පවත්වා ඇති බවටද සැක පළ වී තිබෙනවා.
මෙම සියලු වර්ධනයන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක සහ දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් කරමින් ඇති අතර, ඉදිරි දිනවල මෙම තත්ත්වය කෙසේ වෙයිද යන්න පිළිබඳව ලෝකයම අවධානයෙන් සිටියි.










