උණුසුම් පුවත්දේශීය

දකුණු මුහුදේ විශාල මත්ද්‍රව්‍ය ජාලයක් අනාවරණය වෙයි – සැකකරුවන් 10 දෙනෙකුට දින 7ක රැඳවුම් නියෝග

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රා දෙකක තිබූ විශාල මත්ද්‍රව්‍ය තොගයක් සහ ගිනි අවි රැසක් සමඟ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට දින 7ක රැඳවුම් නියෝග නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සමඟ සැකකරුවන් පස් දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් මුලින් අත්අඩංගුවට ගත් අතර, එම මෙහෙයුමේදී තවත් සැකකරුවන් පස් දෙනෙකු සිටි දෙවන යාත්‍රාවක්ද අල්ලාගෙන තිබෙනවා. අනතුරුව යාත්‍රා දෙකම මාර්තු 12 දින දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) පවසන්නේ සැකකරුවන්ගේ වයස අවුරුදු 22ත් 49ත් අතර වන අතර ඔවුන් ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

විමර්ශන අනුව, සැකකරුවන් සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 176යි ග්‍රෑම් 568ක් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 478යි ග්‍රෑම් 326ක් තිබූ අතර, එම මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

එපමණක් නොව, මෙහෙයුමේදී පිස්තෝල 8ක්, මැගසින් 15ක්, ටී-56 රයිෆල් 2ක්, එම්-16 රයිෆලයක් සහ එම රයිෆලය සඳහා භාවිතා කරන මැගසින් 4ක් ඇතුළු ගිනි අවි රැසක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 654ක් පමණ වන අතර එහි වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවන බව බලධාරීන් ගණන් බලා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

Shares: