යුරෝපය පුරා විකිණෙන වීඩියෝ ක්‍රීඩා සඳහා වයස් ශ්‍රේණිගත කිරීම නියම කරන Pan-European Game Information (PEGI) සංවිධානය විසින් නව නීති සංශෝධන මාලාවක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, “Loot Boxes” ලෙස හඳුන්වන අහඹු අයිතම මිලදී ගැනීමේ විශේෂාංග අඩංගු ක්‍රීඩා සඳහා ඉදිරියේදී අවම වශයෙන් අවුරුදු 16 ට වැඩි වයස් ශ්‍රේණිගත කිරීමක් ලබා දෙනු ඇත.
“Loot Boxes” යනු ක්‍රීඩකයින්ට සැබෑ හෝ අතථ්‍ය මුදල් භාවිතා කර අහඹු අභිරහස් අයිතම ලබා ගැනීමට ඉඩ ලබාදෙන ක්‍රීඩාව තුළ ඇති ක්රමයකි. නමුත් නව පර්යේෂණ අනුව මෙම ක්‍රමය වීඩියෝ ක්‍රීඩා සහ සූදුව අතර ඇති සීමාව බොඳ කරන බවට විවේචන ඉදිරිපත් වී ඇත.
මෙම නව ශ්‍රේණිගත කිරීමේ නීති 2026 ජූනි මාසයෙන් පසු නිකුත් වන ක්‍රීඩා සඳහා ක්‍රියාත්මක වීමට නියමිතය. එහි ප්‍රතිඵලයක් ලෙස “EA Sports FC” වැනි Loot Box පද්ධති අඩංගු ක්‍රීඩා සඳහා වඩා ඉහළ වයස් සීමාවක් ලබා දීමට සිදුවනු ඇත.
PEGI පද්ධතිය යුරෝපය පුරා රටවල් 38ක භාවිතා වන අතර, එය 3, 7, 12, 16 සහ 18 යන වයස් ශ්‍රේණිගත කිරීම් හරහා ක්‍රීඩාවක් විවිධ වයස් කාණ්ඩ සඳහා සුදුසුද නැද්ද යන්න පැහැදිලි කරයි. නව වෙනස්කම් අනුව “Paid Random Items” අඩංගු ක්‍රීඩා සාමාන්‍යයෙන් PEGI 16 ලෙස ලකුණු කරනු රඇති අතර, සමහර අවස්ථාවල එය PEGI 18 දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් වේ.
PEGI අධ්යක්ෂ ඩර්ක් බොස්මන්ස් පවසන්නේ මෙම යාවත්කාලීන කිරීම දෙමාපියන්ට සහ ක්‍රීඩකයින්ට වඩාත් පැහැදිලි සහ විනිවිද පෙනෙන තොරතුරු ලබා දීමට උපකාරී වන බවයි. එමෙන්ම තරුණයින්ට සූදුවේ අවදානම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම පියවර වැදගත් බවත් විශේෂඥයන් සඳහන් කරයි.
කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ නීති මට්ටමින් Loot Boxes පිළිබඳ සෘජු නියාමනයක් තවමත් නොමැති අතර, ක්‍රීඩා සමාගම් 18ට අඩු ක්‍රීඩකයින්ට දෙමාපිය අවසරයකින් තොරව ඒවා මිලදී ගැනීම සීමා කළ යුතු බවට මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම නව වයස් ශ්‍රේණිගත කිරීම දෙමාපියන්ට දරුවන්ට සුදුසු ක්‍රීඩා තෝරා ගැනීමට වැදගත් මඟපෙන්වීමක් ලබා දෙනු ඇති බවයි.










