ප්‍රධාන පාස්කු දින දේව මෙහෙයේදී අදහස් පළ කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ, ලෝක සාමය අද බිඳ වැටී ඇති අතර එක් පුද්ගලයෙකුගේ ලෝකය පාලනය කිරීමට ඇති ආශාව හේතුවෙන් සමස්ත මනුෂ්‍යත්වයම දුක්විඳින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, ක්‍රිස්තියානි ධර්මය යනු සරලව පූජාවන් ඉටු කිරීමක් හෝ ශුද්ධ බයිබලය කියවීමක් පමණක් නොවන බවයි. එය ආදරය, කරුණාව සහ අන්‍යයන්ට සේවය කිරීම මූලික කරගත් ජීවිත පථයක් බවත් උන්වහන්සේ පැහැදිලි කර තිබුණා.
උන්වහන්සේගේ අදහස් අනුව, “මෙවන් අවස්ථාවක ලෝක සාමය වෙනුවෙන් අපි විශේෂයෙන් යාච්ඤා කළ යුතුයි. එක් පුද්ගලයෙකුගේ ස්වාර්ථය නිසා සාමය බිඳ වැටී තිබෙනවා. එවන් අයගේ හදවත වෙනස් වීමට අපි යාච්ඤා කළ යුතුයි.”
“ක්රිස්තියානිත්වය යනු වචන වලින් හෝ සම්ප්රදායන්ගෙන් සීමා වූ දෙයක් නොවේ. එය ආදරයෙන් ජීවත්වීම, අන්‍යයන්ට සේවය කිරීම, සහ දෙවියන් ඉදිරියේ වගකීමෙන් පෙනී සිටීමයි. නමුත් අද ලෝකයේ බලයේ සිටින බොහෝ අය සේවකයන් නොව, බලය පසුපස යන පාලකයන් බවට පත්ව තිබෙනවා.”
මෙම පණිවුඩය හරහා ලෝකයම මුහුණ දෙන අර්බුද අතර, සාමය, ආදරය සහ මනුෂ්‍යත්වය යළි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ඔහු විශේෂයෙන් ඉස්මතු කර තිබුණා.











