ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු, අල්ලසක් ලෙස මත්පැන් බෝතලයක් ලබා ගැනීමට උත්සාහ කළ බවට කල චෝදනාවක් මත ඊයේ (9) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව, අප්‍රේල් 8 දින අලුතින් මිලදී ගත් යතුරුපැදියක් අංක තහඩු සහ වලංගු ආදායම් බලපත්‍රය නොමැතිව ධාවනය කරමින් සිටියදී, නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට අල්ලස් ඉල්ලා තිබෙනවා.
මුලින් රුපියල් 10,000ක් ඉල්ලා සිටි සැකකරු, එම මුදල ගෙවීමට නොහැකි බව පැමිණිලිකරු පැවසූ විට,
ඒ වෙනුවට අරක්කු බෝතලයක් ඉල්ලා සිටි බව වාර්තා වනවා.
අල්ලස ලබා දෙන තෙක්, ජාතික හැඳුනුම්පත වෙනුවට ලබාදුන් ලියවිල්ලක් “ඇපයක් ලෙස” තබාගෙන සිටීමද උත්සහකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
පස්වරු 3.00ට පමණ, ධර්මපුරම් පොලිස් ස්ථානය අසල ජංගම දුරකථන සාප්පුවකට යාබදව පිහිටි වසා දැමූ ගොඩනැගිල්ලක් අසලදී, අල්ලස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කොස්තාපල්වරයා කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වෙමින් පවතිනවා.











