ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියුක්තිය අවදානම් මට්ටමකට ලඟා වී තිබෙනවා. මාසයකට ආසන්නව 25,000ක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව, වර්තමානයේ 6,000 දක්වා පහළ ගොස් ඇති බව අනාවරණය වනවා.
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සංගමයේ ලේකම් මොහොමඩ් ෆරැක් මහතා සඳහන් කරන්නේ, මෙය රටේ ආර්ථිකයට සෘජුව බලපාන විශාල අර්බුදයක් බවයි. විදේශ රැකියා මඟින් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සතරෙන් එකක් පමණ යැපෙන අතර, මෙම තත්ත්වය දිගටම පැවතහොත් 2028 වන විට දැඩි ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට සැක පල කරනවා.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් සීමා කර ඇති අතර, කුවෙට් ගුවන්තොටුපළ තවමත් වසා තැබීම ශ්‍රමික ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. එහි සේවය නිමකර ආපසු පැමිණෙන ශ්‍රමිකයන්ට වෙනත් ගුවන්තොටුපළවල් වෙත බස් සේවා සපයා තිබෙනවා.
කොරෝනා වසංගත කාලයේ පවා මෙතරම් දැඩි අවපාතයක් නොදක්නට ලැබූ අතර, වර්තමාන තත්ත්වය තවදුරටත් පවතින පරිදි, ශ්‍රී ලංකාවේ විදේශ ආදායමට සහ ආර්ථික ස්ථායීතාවයට බරපතළ අභියෝගයක් එල්ල වනු ඇතැයි විශ්වාස කරනවා.
සාමය සහ ස්ථාවරත්වය උදා කර ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් විසදුමක් නොලැබුණහොත් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික අපහසුතාවයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බලධාරීන් අවධාරණය කර තිබෙනවා.











