දේශීය

“එහිපස්සිකෝ” සාම පා ගමන නිමාවට. භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්වෙයි

ශ්‍රී ලංකාවේ සත් දිනක් පුරා ආධ්‍යාත්මික සාමය, මෛත්‍රිය සහ ලෝක සහජීවනය ප්‍රවර්ධනය කරමින් පැවති “එහිපස්සිකෝ” සාම පා ගමන සාර්ථකව අවසන් කරමින්, එයට එක්වූ භික්ෂූන් වහන්සේලා සහ සහභාගිවන්නන් අද (29) උදෑසන දිවයිනෙන් පිටත්ව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වියට්නාම ජාතික භික්ෂුවක් වන පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිස, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පෙ.ව. 7.12ට තුර්කියේ ඉස්තාන්බුල් බලා ගමන් ආරම්භ කළ අතර, එතැන් සිට සම්බන්ධක ගුවන් යානයක් මඟින් එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම දූත පිරිසට භික්ෂූන් වහන්සේලා, ගිහි පිරිස මෙන්ම “ආලෝකා” නම් සුනඛයාද එක්ව සිටීම විශේෂත්වයක් වූවා. ඔවුන් අද අලුයම ගුවන්තොටුපළ ප්‍රභූ විවේකාගාරයට පැමිණි අතර එහිදී දානය පිරිනැමීමේ කටයුතුද සිදු කර තිබුණා. ආශිර්වාද ලබා ගැනීම සඳහා ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රැසක්ද පැමිණ තිබෙනවා.

විශේෂයෙන් “ආලෝකා” සුනඛයාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරීන්, ගුවන්තොටුපළ පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් දැඩි අවධානයක් යොමු කිරීමත් කැපී පෙනුණා.

මේ අතර, “එහිපස්සිකෝ” සාම පා ගමනේ රාජ්‍ය සමාප්ති උත්සවය ඊයේ (28) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගෞරවයෙන් සිදු කළා අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ද තෑගි කර තිබෙනවා.

සාමය, මෛත්‍රිය සහ බෞද්ධ දර්ශනය ලොවට රැගෙන ගිය මෙම පා ගමන, ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික වටිනාකම් ජාත්‍යන්තරයට රැගෙන ගිය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙනවා.

 

Shares: