ක්‍රීඩා

“පවර් හිටිං විශේෂඥයා“ ශ්‍රී ලංකාවේ වැඩ අල්ලයි

“පවර් හිටිං විශේෂඥයා“ ශ්‍රී ලංකාවේ වැඩ අල්ලයි

එක්දින සහ විස්සයි-20 තරග අංශයන් නියෝජනය කරනු ලබන පිතිකරුවන්ගේ “පවර් හිටිං“ හෙවත් ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ජූලියන් වුඩ් මහතා අද (ජූලි 31 දා) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් සමඟින් පුහුණු වැඩසටහන ආරම්භ කළේය. ජව සම්පන්න කුසලතා පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත පුහුණුකරුවකු වන වුඩ් මහතා අගෝස්තු මස 05 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැරෙන් පන්දුවට පහර දීමේ ශිල්පීය මුවහත් කර ගැනීම අරමුණු කර ගනිමින් වුඩ් මහතාගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරනු ලැබීය.

“ජව සම්පන්නපහර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන“ ලෙසින් හඳුන්වනු ලබන මෙම පවර් හිටිං ක්‍රමවේදයේ නිර්මාතෘවරයා ලෙසින් සැලකෙන්නේද ජුලියන් වුඩ් මහතාය. මෙහිදී ක්‍රීඩකයින්ගේ පහර දීමේ බලය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රිකට් ශිල්පීය ක්‍රම පුහුණු ක්‍රම සහ ජෛව යාන්ත්‍ර විද්‍යාව සමඟ ඒකාබද්ධ කරමින් ඒ මහතා සිය පුහුණු කටයුතු සිදුකරනු ලබන්නේය.

කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම පුහුණු සැසිය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ද පැමිණ සිටි අතර එහිදී ජුලියන් වුඩ් මහතා සමග ඔහු සුහද කතා බහකද නිරත වූවේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අමතරව ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙන්ම සෙසු පුහුණුකරුවන්ද සහභාගිව සිටියහ.

එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩල සමගින් කටයුතු කරන ලද වුඩ් මහතා ග්ලෝස්ටර්ෂයර්, හැම්ප්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් යන ප්‍රාන්තවල ක්‍රීඩකයින්ගේ ජව සම්පන්න පහර දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සදහා කැපී පෙනෙන කාර්යය භාරයක් ඉටු කළ පුහුණුකරුවෙකි.  ඊට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කිංග්ස් XI පන්ජාබ් පිලේද පිතිකරුවන් සමග ඔහු සමීපව කටයුතු කරන ලද්දෙකි.

මෙම සැම්පැතැම්බර් මසදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙන්ම 2026 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලට අමතරව අනෙකුත් ජාත්‍යන්තර තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සූදානම් කිරීමේ අඛණ්ඩ වැඩපිළිවෙළේ කොටසක් ලෙසින් මෙම පුහුණු වැඩසහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කරනු ලබයි.

Shares: