ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවිමෙන් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිතයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදීයි.
තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද එම නියෝජිතයන් සඳහන් කළ බව සඳහන්.
IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම වනවා. ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවිමෙන් කටයුතු කරන ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියා.
තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම ආදී අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා.
පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කෙරුණා.
සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයාව දැනුවත් කළ බව සඳහන්.
රට පාලනය කිරීම සහ දූෂණයට එරෙහි වීම යන කරුණු පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.
ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටන සඳහා තමන් හා තම රජය කැපවීමෙන් කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර සිටියේ.
එම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ආයතනික ව්‍යුහ වැඩිදියුණු කිරීම සඳහා තම රජය දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා IMF කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළා.
මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලැබුවා.
එමඟින් ආර්ථිකය ප්‍රතිසාධනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූලික වටපිටාව සකස් කෙරුණ බව වැඩිදුරටත් සඳහන්.