සිරියාවේ ඩාරා නගරය ද එරට කැරලිකරුවන් විසින් යටත් කරගෙන ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩාරාවල සිට සිරියාවේ අගනගරය වන ඩමස්කස් නගරයට ඇත්තේ කිලෝ මීටර් 100ක පමණ දුරක් වන අතර එම නගරයේ 100,000ක පමණ ජනගහනයක් වෙසෙන බවයි කියන්නේ.
එරට ජනාධිපති බෂාර් අල්-අසාඩ් එරෙහිව 2011 වසරේදී අරගලය ආරම්භ වූයේ මෙම නගරයේදීයි.
මේ අනුව සතියක් තුළදී එරට පාලනයෙන් ගිලිහුණු සිව් වැනි නගරය මෙය වන අතර එම නගරයේ සිටි හමුදා නිලධාරීන්ට පසුබැසීමට හැකිවන ලෙස අවස්ථාව ලබා දීමට කැරලිකරුවන් එකඟ වී තිබුණු බව සඳහන්.
ඇලෙප්පෝ සහ හමා යන නගර ද මීට පෙරදී කැරලිකරුවන් විසින් යටත් කරගෙන තිබුණා.
එහිදී රුසියාව විසින් මෙම නගරවල කැරලිකරුවන්ගේ මූලස්ථාන ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කැරලිකරුවන් 200 ක් පමණ මියගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙවන් පසුබිමක, 2011 සිට 2021 දක්වා සිරියාව තුළ සිවිල් යුද තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 305,000ක් පමණ මියගොස් තිබෙන බව පවසනවා.
කැරලිකරුවන් විසින් සිය මෙහෙයුම් පසුගිය නොවැම්බර් 27 වනදා යළි ආරම්භ කළ අතර එරට තවත් ප්‍රධාන නගරයක් වන හොම්ස් ද බොහෝදුරට කැරලිකරුවන් අත්පත් කර ගනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
සිරියානු ජනාධිපති අසාඩ් ගේ සහයට ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉදිරිපත් වුවද මේ වනවිට ඉරානය, රුසියාව සහ හිස්බුල්ලා සංවිධානය මුහුණ දී සිටින අර්බුද හේතුවෙන් ලැබෙන සහය දුර්වල වී ඇති බවද සඳහන්.