සුරේඛා සඳමාලි එක්දරු මවකි. අතුල ඇගේ සැමියාය. හිමාෂා සඳරුවනි ඔවුනට සිටින එකම දියණියයි.
සුරේඛා සිය දියණිය රැක බලා ගත්තේ සිය නෙත් දෙක මෙන්ය. ඇය බෙහෙවින් දියණියට ආදරය කළාය. සුරේඛාගේ සැමියා රැකියාව ලෙස කළේ මේසන් වැඩය.
සැමියා උපයන මුදලින් දරු පවුල නඩත්තු කිරීමට නොහැකි බව කල්යද්දී සුරේඛාට වැටහුණාය. ඒ සැමියා හරිහම්බ කරන තුට්ටු දෙක නිකරුණේ නැති නාස්ති කරන නිසාය. කෙතරම් අවවාද උපදෙස් දුන්නද සැමියාගේ ක්‍රියා කලාපයේ වෙනසක් නොවීය. මේ නිසා සුරේඛා කිසියම් සිත් තැවුලකින් පසුවූවාය.
මීට සති කිහිපයකට පෙර සැමියාට අලුත් රැකියාවක් ලැබිණි. ඒ ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ නිවෙසක මේසන් වැඩ කිරීම සඳහාය. තට්ටු තුනකින් සමන්විත මෙම නව නිවෙස සෑදීම අතුලට පැවරීමත් සමඟ එහි හිමිකරු අතුලට පවසා තිබුණේ යන්න, එන්න කරදර නිසා සිය දරු පවුල සමඟ එම නිවෙසේ තාවකාලිකව රැඳී සිය නිවෙස සාදා නිම කරදෙන ලෙසය.
අතුලද ඊට එකඟ විය. සුරේඛාද ඊට අකුල් හෙළුවේ නැත.
අවසානයේ ඔවුන් පදිංචි කරවිට ප්‍රදේශයේ නිවෙසින් පිටවූ අතුල සිය බිරිය සහ දරුවා සමඟ මාකේවිට නිවෙසට පැමිණියහ. අතුල මේසන් වැඩ කළේ එම නිවෙසේ නතරව සිටය.
මේ අතර සුරේඛාද ඇඟලුම් කම්හලක රැකියාවකට ගියාය. හිමාෂා දියණිය ඒකල ඩී. ඇස්. සේනානායක විදුහලේ අට වසරේ අධ්‍යාපනය ලැබුවාය. ඇය දහහතර හැවිරිදි වියේ පසුවූවාය.
මෙලෙස මාකේවිට නිවෙසේ කාලය ගත කළ සුරේඛා පසුගියදා කිසියම් ගැටලුවකට මැදි විය. ඒ ඇගේ රන් මාලය කිසිවකු විසින් සොරාගෙන ඇති බව දැනගත් විටය. ඇය ගේ දෙවනත් කරමින් රන් මාලය සෙව්වාය. සැමියාගෙන්ද විමසුවාය. එහෙත් ඔහු පැවැසුවේ රන් මාලය ඇහැටවත් නොදුටු බවය. දියණියද අම්මාගේ නැති වුණු රන් මාලය සොයන්නට මුළු ගෙයම පීරුවාය. ඒත් රන් මාලය සොයා ගැනීමට හැකි වූයේ නැත.
“මම පොලිසි යනවා…”සුරේඛා සැමියාට ඇහෙන ලෙස කීවාය. මින් අතුල කලබල විය. සුරේඛා ඇඳ පැලඳ ගන්නේ පොලිසියට යන්නට බව දත් අතුල සුරේඛා ළඟට හීන් සැරේ කිට්ටු විය.
“මමයි මාලේ ගත්තේ. පොඩි හදිසියකට සල්ලි නැතුව ඒක මම උකස් තිබ්බා. ලබන සතියේ බේරලා දෙන්නම්.”අතුල සිය බිරියට පැවැසීය. මින් සුරේඛා තදින් කෝපයට පත්විය. ඇය සැමියාට දෙස්දෙවොල් තැබුවාය.
“හරි… හරි… මම ලබන සුමානේ බේරලා දෙන්නම්. ඕකට ඔච්චර කෑගහන්න ඕන නැහැනේ.”පියා කළ වැඩේ වැරැදි බව දත් හිමාෂා දුවද අතුලට බැන වැදුණාය. ඒත් අතුල ඇයට මුකුත් කීවේ නැත. ඒ ඔහු කළ වැරැද්දේ තරම හොඳින් දැනගෙන සිටි නිසාය. අවසානයේ සුරේඛා නිහඬ වූයේ ලබන සතියේ රන් මාලය කෙසේ හෝ බේරා දෙන බවට සැමියා පොරොන්දු වීම නිසාය.
දින ගෙවී ගියද අතුල රන් මාලය බේරාදෙන පාටක් පෙනෙන්නට නොවීය. සුරේඛා ඒ බව කිහිපවතාවක්ම සැමියාගෙන් විමසුවද, ඔහු කුමක් හෝ බොරුවක් ඇදබාමින් කල් ගෙවීය.
“අපරාදේ දැන් පොලිය ගෙවන්න වෙනවා. මේ මනුස්සයා කරපු අපරාදෙ. අන්තිමට ඕක සින්න වෙලාම යයි.”සුරේඛාගේ කෑගැසීම නතර කරලීමට අතුල දැඩි උත්සාහයක් ගත්තේය. අවසානයේ සුරේඛා තීරණය කළේ ඇයට මාසික වැටුප ගාමන්ට් එකෙන් ලැබුණු පසු සිය රන් මාලය බේරා ගන්නා බවය. ඒ අතුල කිසිදා එය බේරා ගැනීම සිදු නොකරන බව ඇයට වැටහුණු නිසාය.
ඒ ඉකුත් 2 වැනිදාය. සුරේඛා ගාමන්ට් එකේ රැකියාවට යෑමට සූදානම්ව සිය දියණිය ළඟට කැඳෙව්වාය.
“පුතේ… මේ සල්ලි ටික අරගෙන තාත්තත් එක්ක ගිහින් මගේ මාලේ බේරලා ගේන්න. තාත්තා අතට සල්ලි දුන්නොත් එයා ඔය ටිකත් නැති කරලා දාවි. ඒ නිසා ඔයා තාත්තා අතට සල්ලි දෙන්න එපා. තාත්තත් එක්ක උකස් කඩේට ගිහින් මාලෙ අරගෙන ඇවිත් ඔයා ළඟ පරෙස්සමින් තියාගන්න. මම වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ ගන්නම්.”සුරේඛා එසේ පවසා දියණිය අත මාලය උකසින් බේරා ගැනීම සඳහා රුපියල් විසිදහසක මුදලක්ද ඇය අත තැබුවාය. එහෙත් අතුලද ඇගේ කතාව අසා සිටියේය. මාලය පරෙස්සමින් තබාගන්නා ලෙස දියණියට පැවැසූ සුරේඛා ඉන්පසුව රැකියාව සඳහා පිටත්ව ගියාය.
සුරේඛා නිවෙසින් නික්ම යෑමෙන් පසු අතුල සිය දියණිය අසලට ආවේය.
“පුතේ අම්මා දුන්න සල්ලි දෙන්න. මම ගිහින් මාලේ බේරගෙන එන්නම්…”අතුල දියණියට චාටු බස් කියන්නට විය. ඒත් හිමාෂා තාත්තාගේ බහට අසුවූයේ නැත.
“බැහැ… බැහැ… මට අම්මා කිව්වනේ ඔයාට සල්ලි දෙන්න එපා කියලා.”
“ඔයා බය වෙන්න එපා. ඕක මට දෙන්නකො. මම ගිහින් මාලේ බේරගෙන එන්නම්. ඔයා අපරාදේ රස්තියාදු වෙන්නේ.”
“නැහැ… නැහැ… මම තාත්තට සල්ලි දෙන්නේ නැහැ. යනව නම් මාත් එනවා.”
“ඕන නැහැ. ඕක මට දෙන්න මම ගිහින් මාලේ අරගෙන එන්නම්…”
“බැහැ… බැහැ… මට සල්ලි දෙන්න බැහැ…”දෙන්නාගේ කතාබහ උග්‍ර වුවද හිමාෂා මව දුන් මුදල් සිය පියාට නොදුන්නාය. මින් අතුලගේ කෝපයද වැඩි විය. ඔහු දියණිය අත ඇති මුදල උදුරාගන්නට කිහිපවතාවක්ම උත්සාහ කළද හිමාෂා ඊට ඉඩ තැබුවේ නැත. අවසානයේ හිමාෂා සමඟ පොර බැදූ අතුල කෙසේ හෝ ඇය අත තිබූ මුදල් ගන්නට උත්සාහ කළේය.
ඒ අතරතුර ඇති වූ පොර බැඳීමත් සමඟ හිමාෂා ඒ අසල තිබූ ඇඳ දෙසට විසිවී ගියේය. ඒ සමඟම ඇගේ හිස ඇඳේ කෙළවරක වැදිණි. ඇය එකවරම බිම පතිත විය.
ඒ සමඟ ඇය අත තිබූ මුදල් නෝට්ටු කිහිපයද එතැනම විසිර ගියේය. වහා ක්‍රියාත්මක වූ අතුල දියණිය අතින් ගිලිහී ගිය රුපියල් විසිදහස අහුලාගෙන නිවෙසින් පිටව ගියේ වැටුණු හිමාෂා ඔසවන්නට හෝ කටයුතු නොකරමින්ය.
නිවෙසින් පිටවූ අතුල කෙළින්ම ගියේ ජා-ඇළ පෙදෙසටය. රුපියල් විසිදහසෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගත් ඔහු ඉන් අයිස් පානය කරන්නටද විය. ඉන්පසු ඔහු යළි මාකේවිට නිවෙස බලා පැමිණියේ අයිස්වල පිහිටෙන්ය.
ඒ වන විට පැය තුනක පමණ කාලයක් ගත වී ගොස් තිබිණි. නිවෙසට ඇතුළු වූ අතුල දුටුවේ දියණිය වැටුණු තැනම වැටී සිටින අයුරුය.
හිමාෂා… දියණිය තමා එනු දැක බොරුවට වැටී සිටින බව අතුල හිතුවේය. ඔහු දියණිය අවදි කරන්නට උත්සාහ ගත්තද ඉන් පලක් නොවීය. දියණියගේ දෙඅත් සහ පා සීතල වී ඇති බව ඔහුට දැනිණි.
“මෙයා මැරිල වගේ…”ඔහු සිතුවේය. දියණියගේ සිරුර එලෙස තැබුවහොත් බිරියගෙන් විසුමක් නොවන බවත් අතුල දන්නේය. එමෙන්ම දියණියගේ මරණයට තමා පොලිසියට කොටුවන බවද ඔහුට වැටහුණේය.
වහා නිවෙස තුළට ගිය අතුල එහි තිබූ ඉටිරෙද්දක් ගෙන ඉන් දියණියගේ සිරුර එතුවේය. ඒ වන විට හිමාෂා මියගොස් ඇත්ද නැතහොත් සිහිසුන්ව සිටින්නේද යන්න අතුල දැන සිටියේ නැත. ඒත් ඔහු සිතුවේ හිමාෂා මියගොස් ඇති බවය. ඒ ඇගේ අත්පා සීතලව තිබූ නිසාය.
දියණිය කර තියා ගත් ඔහු අලුතෙන් තනන ලද නිවෙසේ වැසිකිළි වළේ පියන විවර කර ඒ තුළට හිමාෂාගේ සිරුර දැමුවේ ඉන් පසුවය. ඉන් අනතුරුව කිසිවක් නොවූ ලෙසින් අතුල නිවෙසේ විසීය.
රැකියාව නිම කළ සුරේඛා ගෙදරට එද්දී හතර වටින් ඇඳිරි වැටී තිබුණේය.
“කෝ… මේ කෙල්ල..?”සුරේඛා සිය දියණිය සෙව්වද ඇය නිවෙසේ සිටින බවක් පෙනෙන්නට නොවීය.
“ඒයි කෝ හිමාෂා…”අවසානයේ ඇය සිය සැමියාගෙන් ඒ බව විමසුවාය.
“ආ මට ඔයාට කියන්නත් බැරි වුණානේ. මගේ යාළුවෝ වගයක් ආවා. එයාලා ඔන්න නුවරඑළියේද කොහේද ටි්‍රප් එකක් යනවා කියලා දුවවත් එක්කගෙන යන්නද කියලා ඇහැව්වා. දුවත් කැමැති වෙලා එයාලත් එක්ක ගියා…”අතුල බොරු බේගලයක් ඇද දැම්මේය.
“මාලේ බේරුවේ නැද්ද”
“බේරුව.. ඒක එයා හංගලා යන්න ඇති…”අතුල ඊටද පිළිතුරු දෙමින් කීවේය.
සැමියා පවසන්නේ සැබෑවක් බව විශ්වාස කළ සුරේඛා නිහඬ වූවාය.
තවත් දිනක් ගත විය. ඒත් හිමාෂා ගෙදර පැමිණියේ නැත.
“කෝ… ඒයි මේ හිමාෂා… අදත් නැහැනේ…”
“මම මේ එයාලට කෝල් ගත්තා ගත්තා. ඒ පැත්තේ සිග්නල් නැතිව ඇති. ෆෝන් වැඩ කරන්නේ නැහැ.”අතුල කීවේය.
බිරිය ඉදිරියේද ඇයට පෙනෙන ලෙස කාටදෝ ඇමැතුම් ගත්තේය.
“සිග්නල් නැතිව ඇති. ඒකයි ෆෝන් වැඩ කරන්නේ නැත්තේ.”අතුලගේ කීමට සුරේඛා නිහඬ වුවද සැමියා සිය දියණිය මරා දමා ඇති බව ඇය සිහිනෙකින්වත් නොසිතුවාය. ඇය ඒ මොහොතෙත් සැමියාට ෙදාස් කිව්වේ හිමාෂා තනිවම විනෝද චාරිකාවක යැවීම නිසාය.
තවත් දින දෙකක් ගතවිය. එහෙත් හිමාෂා ගෙදර ආවේ නැත. සුරේඛාටද මේ ගැන ඇති වූයේ සැකයක්ය. බලා හිටින්නට බැරිම තැන දියණියගේ නොපැමිණීම ගැන පැමිණිල්ලක් දැමීමට ඇය ගම්පහ මූලස්ථාන පොලිසියට පැමිණියාය. ඒ ඉකුත් 5 වැනිදා රාත්‍රියේය. ඇය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරිණි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා අපරාධ විසඳීමෙහිලා දක්ෂ නිලධාරියෙකි. ඔහු සාවධානව සුරේඛා කියන දේ අසා සිටියේය.
“දැන් මහත්තයා මොකක්ද කියන්නේ.”
“එයා කියනවා දුව ටි්‍රප් එකක් ගියා. ඒ ගිය කට්ටියගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. සිග්නල් නැහැ කියලා. දැන් සර් දවස් හතරක් වෙනවා. ඔච්චර දවසක් ටි්‍රප් එකක් ගිහින් ඉන්නවද?”
“දැන් තමාට කාව හරි සැකද..?”
“සර්… මහත්තයා තමයි සැක. එයාත් කියන්නේ දුව ටි්‍රප් එකක් ගියා කියලා.”
“හරි ඔයා පැමිණිල්ල දාලා යන්න.”මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේය. සුරේඛා සිය දියණිය දින හතරක් තිස්සේ අතුරුදන් බව කියමින් පැමිණිල්ලක් යොමු කළාය.
පසුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කරුණු කාරණා පහදා දුන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අතුලව පොලිසියට රැගෙන එන ලෙස දැන්වීය. ඒ අනුව අතුල ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ පෙනී සිටියේය.
“කෝ දුව, දුවට මොකද වුණේ..?”
“එයා ටි්‍රප් එකක් ගියා සර්…”
“කාත් එක්කද..?”
“මගේ යාළුවෝ කට්ටියක්. එයාලගේ දුවලත් එක්ක…”
“මම ඒගොල්ලන්ගේ ෆෝන්වලට ගත්තා සර්… ඒ එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. ඒ පැත්තේ සිග්නල් නැතිවද කොහෙද?”එසේ කියමින් අතුල සිය ජංගම දුරකථනයෙන් වහ වහා ඇමැතුම් ගන්නට උත්සාහ කළේය.
“කෝ දීපන් ඔය නොම්මරේ”
“මම අරන් බලන්නම්” මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔහු දුන් දුරකථන අංකයට ඇමැතුම් ගත්තද එම අංකය ක්‍රියා විරහිත කළ අංකයක් විය. අතුල බොරුවක් කරනා බව ඔහුට වැටහුණේය. එමෙන්ම ප්‍රශ්න කරද්දී අතුල කිසියම් සැකයකින් සිටින බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට පෙනිණි. සිය හසල දැනුම උපයෝගි කරගෙන ඔහු නැවත අතුලගෙන් ප්‍රශ්න කරන්නට විය.
“උඹ මට බොරු කරන්න එපා. උඹ මොනව හරි කෙල්ලට කරලා තියෙන්නේ… උඹ ඇත්ත කියනවද..? නැත්නම් මම ඇත්ත දැනගන්නද? මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ නියෝග මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඔහු එම ඒකකයට කැඳවාගෙන ගියේ ඇත්ත දැනගන්නටය.”ඇත්ත දැනගන්නට උත්සාහ ගන්නටත් පෙර අතුල හීන් සැරේ මොකක්දෝ මිමිනුවේය.
“සර්… මට ගහන්න එපා. මම ඇත්ත කියන්නම්.”
“හරි කොහේද හිමාෂා ඉන්නේ.”ඒ ප්‍රශ්න කිරීම් මත හිමාෂා මරා නිවෙසේ අලුත් වැසිකිළි වළට දැමූ බව අතුල පොලිසිය හමුවේ පවසන්නේ ඉන්පසුවය.
ඒ අනුව නිලධාරීන් ඉකුත් 6 වැනිදාම මාකේවිට ඔවුන් තාවකාලිකව පදිංචිව සිටින නිවෙස පිටුපස ඇති වැසිකිළි වළේ කොන්ක්‍රීට් පියන ගලවා එහි දමා තිබූ පස්ද ඉවත් කර හිමාෂාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර සොයා ගත්තේය. ඇය වැසිකිළි වළ තුළම වකුටු වී සිටියාය.
සිද්ධිය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ඇගේ සිරුර ගොඩගැනීම සිදුවිය. ඒ සුරේඛාගේ හඬාවැටීම ඉදිරියේය.
“අනේ මේ මනුස්සයා මොන හිතකින් මගේ කෙල්ලට මේ අපරාධය කළාද…?”ඇය වැලහින්නියක් සේ හඬා වැටුණාය.
සිය දියණිය ඝාතනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු පෙදරේරු සැමියා මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහිව ඇති බව සුරේඛා හරි හැටි දැනගත්තේද එදාය.
අත්අඩංගුවට ගැනුණු සැකකාර අතුල ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි)