ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල හමුවීම සඳහා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව වන බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් තානාපතිවරිය එහිදී සඳහන් කළා.
ඇය වැඩිදුරටත් පැවසුවේ දේශපාලන බලපෑම් වලින් තොරව නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහය අගය කරන අතර මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම සයිබර් අවකාශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගීතාවය ලබා දීමට සූදානම් බවත් ඇය පැවසුවා.