මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ ජනාධිපති හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවති සාකච්ඡාවකදීයි.
ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී උපදෙස් දී ඇත්තේ.
එසේම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගත යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කර ඇත්තේ.