මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වූ මාකදුරේ මදූෂ්ගේ දේහය භූමිදානය කර ඇති ගොඩිගමුව සුසාන භූමිය ඉදිරිපස ඡායාරූපයක් සහිතව ප්‍රදර්ශනය කර තිබූ බැනරය සම්බන්ධයෙන්, ඒ අසල තිබූ සීසී ටීවී කැමරා පද්ධති උපයෝගී කර ගනිමින් මේ වනවිට පරීක්ෂණ සිදුකෙරමින් පවතින බව පොලිසිය පවසනවා.
අදාළ බැනරය පෙරේදා දහවල් කාලයේ එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සහ ඡායාරූපයක් සංසරණය වූ අතර පසුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම බැනරය සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා දිනයේ බොරැල්ල කනත්තේදී සිදුවන අවස්ථාවේ මාකදුරේ මදූෂ්ගේ ඡායාරූපය සහිත බැනරය එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබූ බවයි වාර්තා වුණේ.
එහි සඳහන්ව තිබුණේ “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙන්.
මේ අතර, පසුගියදා ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී එම ස්ථානයේ සැක කටයුතු ලෙස සිටි පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් සමාජ මාධ්‍ය හරහා පැතිර ගියා.