උණුසුම් පුවත්

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණා.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙක්.

1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකම් කියයි.

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූ ඒ මහතා, වේදිකා නාට්‍ය හරහායි සිය කලා ගමන ආරම්භ කළේ.

ඒ සිය ගුරුතුමා වූ නැසීගිය හින්දි භාෂා විශාර්දවරයෙක් සේම ප්‍රකට කලාවේදියෙකු වූ රවිලාල් විමලධර්මයන්ගේ යොමු කිරීම ඔස්සේ ගුවන් විදුලියේ “සේරි වාණිජ” නාටකයේ දේවදත්ත ලෙසින්.

ඉන්පසු “වෙස්සන්තර” නාටකය තුළින් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු වේදිකා නාට්‍ය ගණනාවක රඟපාමින් “සම්පත” චිත්‍රපටයෙන් සිනමාවටද පිවිසියා.

1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් පණ පෙවූ සිංහල තරුණයෙකුගේ චරිතය සම්මානයට ද පාත්‍ර වූයේ තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදීමෙන් වීම විශේෂත්වයක්.

එමෙන්ම 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී සැඩොල් කඳුළු” චිත්‍රපටයේ භික්ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගනය කුසලතාවය වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණා.

සතිස්චන්ද්‍රයන්ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය වූ ‘බකතපස්’ වේදිකා නාට්‍ය වේදිකාගත වූයේද මේ අතරතුරයි.

එසේම මුල්වරට අධ්‍යක්ෂණය කළ “මාතර ආච්චි” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් ප්‍රධාන නළුවෙකු ලෙස දොරට වැඩි සතිස්චන්ද්‍ර මහතා ඉන් අනතුරුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහුගේ හැකියාවන් ප්‍රකට කළේ රජ ගෙදර පරවියෝ, ශ්‍රී මධාරා, සතර දිගන්තය, අධිෂ්ඨාන,වදුල යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින්.

තවද ” පූජිතයෝ, පොඩි මල්ලි, වදුල,හිම කතර,කොටි වලිගය, ක්‍රිස්තු චරිතය, සුජාතා, දොරකඩ මාරාව,බිතුසිතුවම්, උණ්ඩය,
කන්‍යාවි, මදර් තෙරේසා, සුහද කොකා” වැනි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ඔහු ජනාධිපති, යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානය සහ රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ප්‍රමුඛ සම්මාන රැසකට හිමිකම් ලැබුවා.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ නළුවෙකු ලෙස ද කැපී මෙතුමා තම සොහොයුරු සුනිල් එදිරිසිංහයන් චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙසින් ද, ප්‍රකට නැසීගිය රංගනවේදී වොලී නානායක්කාර චිත්‍රපට ගීත රචකයෙක් ලෙස ද මෙන්ම ආචාර්ය වික්ටර් රත්නායකයන් චිත්‍රපටය සංගීතයට ද හඳුන්වා දෙන්නේද සතිස්චන්ද්‍ර මහතායි.

ඒ ඔහුගේ “මාතර ආච්චි” චිත්‍රපටයෙන්.

මෙලෙසින් කලා ලොව අගනා මෙහෙවරක් කළ ඔහුගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් වනු නොඅනුමානයි.

Shares: