දේශීය

උත්සව සමයේ ඇවිදින්න යන්න ඉන්න අයට දැනුම් දීමක්

මෙම දිනවල පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් උත්සව සමය තුළ ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ජනතාවට දැනුම්දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා,

“විශේෂයෙන් මේ දවස්වල ආපදා තත්ත්වයත් එක්ක ජල මූලාශ්‍ර වෙනස් වෙලා තියෙනවා. ඒවායේ තියෙන ශක්තිමත් භාවයන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ තැන් භාවිතා කරන කොට හැමතිස්සෙම පරිස්සම් වෙන්න. කෙනෙක්ගෙන් අහන්න නොදන්නා තැන්වලට ගිහිල්ලා ඒ තැන්වල නාන්න හෝ පරිහරණය කරන්න කලින්. ඒ තැන්වල සමහර වෙලාවට ගැඹුර වැඩිවෙන්න පුළුවන්. ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු තැනක් වෙන්න පුළුවන්. ඒ උනාට ගැටලුත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්”

යනුවෙනුයි පැවසුවේ.

මේ අතර පාසල් නිවාඩු සමය හා උත්සව සමයේ මුල්කර ගෙන රිය අනතුරු සහ සෙසු අනතුරු සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස ද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයා ප්‍රකාශ කළා.

එහිදී වෛද්‍යවරයා සඳහන් කළේ පසුගිය වසර කිහිපයක දත්ත විශ්ලේෂණ කිරීම තුළින්, විශේෂයෙන්ම රියදුරන්ගේ, වාහනවල ගමන් කරන අයගේ සහ පදිකයන්ගේ ගැටලු මත බොහෝ විට රිය අනතුරු සිදුවිය හැකි බවයි.

එමෙන්ම සියලුදෙනා තමන් ගමන් කරන වාහනය මාර්ගයට දැමීමට පෙර එය ධාවනයට සුදුසු තත්ත්වයක පවතින්නේ දැයි දැඩි ලෙස පරීක්ෂා කළ යුතු බවයි සිරිතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Shares: