ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම ක්‍රියාවලිය පුළුල් කිරීමේදී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳ මූලික අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නියෝජිතයින් එම සාකච්ඡාවට එක්වී සිටියා.
රසායනාගාර තුළ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු පරිමාවන් ඉහළ නැංවීම මෙන්ම ලබාදෙන ඖෂධ තත්ත්ව පරීක්ෂණ වාර්තා පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැනනගින ගැටලු සහ අධීක්ෂණය කළ යුතු කරුණු යනාදිය පිළිබඳවයි මෙහිදී තවදුරටත් සාකච්ඡා වී ඇත්තේ.
ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාරය තුළින් සිදුකර ගැනීමේදී යම් සීමාවන් පවතින බවට නිරීක්ෂණය වන බැවින් ඉදිරියේදී එම කටයුතු තවදුරටත් විධිමත් සහ පුළුල් වැඩසටහනක් ලෙස ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය වන බව එහිදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.
අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් රජය යටතේ පවතින ආයතන හරහා එම කටයුතු යම් ආකාරයකින් සිදු කරගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවයි.
එමෙන්ම ඖෂධ සැපයුම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි ගැටලු සහගත ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙලේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.










