අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ මෙම සැකකරු අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජා – ඇල දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි අල්ලස් කොමිසම විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.
වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති රන් භාණ්ඩ පැමිණිලිකරු මිලදී ගෙන ඇති බවත් එම සොර බඩු සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු නොකර සිටීමට සහ අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට රු. 300,000/- ක මුදලක් හා රන් පවුම් තුන් කාලක ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු. 250,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකාර පොලිස් නිලධාරියා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අල්ලස් කොමිසම මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවයි අධිකරණය හමුවේ පැවසුවේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවත්, අනෙක් දරුවා පෙබරවාරි මස අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් සඳහන් කළා.
කෙසේ වෙතත් නීතිඥවරයා දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධ ඇප ඉල්ලීම ඉදිරි දින අදාළ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවයි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු වරුෂවිතාන මහතා සැකකරුව ජනවාරි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.











