දේශීය

ප්‍රදේශ කිහිපයක වූ රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5කට දිවි අහිමියි

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී ඊයේ (26) අලුයම් කාලයේදී මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරින් මාර්ගයේ පෙරලී ගොස් තිබූ ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ පිරිමි දරුවෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ වයස අවුරුදු 14ක් වූ කොතලාවල, කඩුවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ඊයේ සවස් කාලයේදී ලුණුවිල පොලිස් වසමේ තුම්මෝදර බෝලවත්ත මාර්ගයේ පෙස්ටස් පෙරේරා මාවත ප්‍රදේශයේදී ලුණුවිල දෙස සිට පෙස්ටස් පෙරේරා මාවත දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුවී තිබුණා.

අනතුරින් පැදිකරු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ වයස අවුරුදු 18ක් වූ මහවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

එමෙන්ම ඊයේ රාත්‍රී කාලයේදී මිද්දෙණිය පොලිස් වසමේ තලාව දෙබොක්කාව ප්‍රදේශයේදී ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කානුවකට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ එම අනතුරින් 31 හැවිරිදි පැදිකරු තුවාල ලබා තලාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.

එසේම ඊයේ අලුයම් කාලයේ වත්තල පොලිස් වසමේ හැඳල ඇලකන්ද මාර්ගයේ හැඳල හන්දිය අසලදී ඇලකන්ද දෙස සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

එම අනතුරකින් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.

ඔවුන් අවුරුදු 21 හා 25 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදංචිකරුවන්.

Shares: