විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (31) පෙරවරුවේ ඩකා නුවර බලා දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ බංග්ලාදේශයේ හිටපු අගමැති බේගම් ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහායි.
ඒ අනුව අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් UL 189 ගුවන් යානයෙනුයි අමාත්‍යවරයා පිටව ගියේ.
බංග්ලාදේශයේ හිටපු අගමැති බේගම් ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන්නේ අද පස්වරුවෙයි.
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය සහ ලොව දෙවැනි මුස්ලිම් රාජ්‍ය නායිකාව ලෙස ඉතිහාසයට එක්වූ 80 හැවිරිදි කලීඩා සියා ඊයේ උදෑසන මෙලොවින් සමුගත්තා.
ඇගේ මරණය සිදුවූයේ වසර 17ක් රටින් ඈත්වී සිටි ඇගේ වැඩිමල් පුත්‍රයා තරික් රහ්මාන් නැවත බංග්ලාදේශයට පැමිණීමෙන් දින කිහිපයකට පසුවයි.
සිය මවගේ රෝගී තත්ත්වය සොයා බැලීමට සහ ඉදිරි මැතිවරණයට තරග කිරීමට නැවත මව්බිමට පැමිණි තරික්ට සියලු සහාය ලබාදීමට පියවර ගත් අන්තර්වාර රජය, කලිඩාගේ අවමංගල කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි අද සිදු කිරීමට නියමිතව ඇත්තේ.











