දේශීය

ගාල්ල නගර සභාව යුද පිටියක් කළ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කරමින් සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (31) මෙම පිරිස ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ දින නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළකිරීමත් සමඟින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.

ඉකුත්දා පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලක් මත ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සභා ගර්භයට පැමිණ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙනුයි මෙම තත්ත්වය ඇතිවී තිබුණේ.

නගරාධිපතිවරයා න්‍යායපත්‍රානුකූලව සභාවේ කටයුතු ක්‍රියාත්මක කළ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ලේකම් මණ්ඩලය රැඳි සිටින පෙදෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කර තිබුණේ ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟයි.

තත්ත්වය පාලනය කිරීම අපහසුවීමත් සමඟ සභාව විනාඩි 30කට කල්තැබීමට නගරාධිපතිවරයා කටයුතු කළ අතර එහිදීද විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසමින් නොසන්සුන් ලෙස හැසිරුණා.

Shares: