ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසිනුයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇත්තේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එය ඉදිරියේදී සමාගම් 06ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ මේ වනවිට එම මණ්ඩලය සතු සියලු වත්කම් ක්‍රමානුකූලව අදාළ සමාගම් වෙත පැවරීමට කටයුතු කරමින් සිටින බවයි.
එම සමාගම්වලට කාර්යමණ්ඩලය යොමු කිරීම ද මේ වනවිට සිදුකර ඇති අතර ඊට අකමැති පුද්ගලයින්ට සිය කැමැත්තෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.
ඒ අනුව විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර තිබෙන සේවකයින් ගණන 2,173ක්.
එහිදී බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙන්නේ ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතිය තුළ අවසන් කරන ලෙසයි.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සිදුවන අතර ඉන් පසු එහි කටයුතු නව සමාගම් 06ක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට නියමිත වනවා.











