දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකියි.
එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.
උතුර පළාතෙත්, අනුරාධපුර, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.
එසේම සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
මේ අතර අද සිට නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.











