ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට තිබුණාට වඩා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමට නියත වශයෙන්ම කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ‘Rebuilding Sri Lanka’ යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (09) පෙරවරුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල වසමේ, අලුබද්ද ගම්මානයේදී එක් වෙමින්.
එතුමා කියා සිටියේ මෙම 2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති බවයි.
ව්‍යසනයෙන් පසු ආසන්න වශයෙන් නව නිවාස 20,000- 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කර දීමට සිදු වන බවත්, නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මීට පෙර සැලසුම් කර තිබු නිවාස 31,000 සමඟ නව නිවාස 50,000- 55,000ක් අතර ප්‍රමාණයක් මේ වසරේදී ඉදිවනු ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වී පුද්ගලයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ නැවත එම ස්ථානයේම නිවාස ඉදිකළ හැකි පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම සිදු කෙරෙන අතර, ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, පලාගල, පලුගස්වැව, ඉපලෝගම, තිරප්පනේ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යසනයෙන් පූර්ණ හානි සිදු වූ එම ස්ථානයේම නිවස ඉදිකරගත හැකි බවට තත්ත්ව සහතික ලද නිවාස 26ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවසක වැඩ ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි විශාල වන්දි ලබා දෙමින් ජනතාව බලා ගැනීමට පාලකයන් මැදිහත් නොවු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ වත්මන් රජය ජනතාව බලාගත යුතු බවට තීන්දු කළ රජයක් බවත්, ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට තිබුණාට වඩා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමට නියත වශයෙන්ම කටයුතු කරන බවයි.
එසේම ජනතාවට හොඳ ජීවන තත්ත්වක් ලබා දීමට නම් හොඳ ආදායමක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ හොඳ නිවසක් මෙන්ම මානසික සුවය අවශ්‍ය බව පෙන්වා දුන් එතුමා එම කරුණු 05 ඉටු කරදීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවයි ප්‍රකාශ කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ,
මීට වසර 03කට පමණ පෙර ඉතා විනාශකාරී ආර්ථිකයක අත්දැකීම්වලට අපිට මුහුණ දීමට සිදු වුණා. ඉන්ධන, ගෑස් නැතිව රටම විශාල ආර්ථික කඩා වැටීමකට ලක් වුණා. අපි කවුරුත් දන්නවා ඒ ආර්ථික කඩා වැටීම සිදු වුණේ ස්වභාවික ව්‍යසනයක් නිසා නොවෙයි. අපේ රට දීර්ඝකාලයක් පාලනය කළ පාලකයන් විසින් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ මහජනයාගේ ධනය ඉතා කුඩා කණ්ඩායමක් අතර කේන්ද්‍රගත කර ගැනීම ඊට හේතු වුණා.
භාණ්ඩාගාරය විශාල මුදල් ප්‍රමාණයක් එක්රැස් කළත් ඉතා අතළොස්සක් අතර පමණයි ඒ මුදල් සංකේන්ද්‍රනය වුණේ. රටේ ආර්ථිකය කඩා වැටුණේ එවැනි හේතු නිසයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාව පාරට බැහැලා මහා විරාජමානව වැජඹුණු නායකයන් පලවා හැරියේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
අපි එකතුවෙලා ආණ්ඩුවක් හදා ගැනීමෙන් පසු අපේ පළමු අභියෝගය බවට පත් වුණේ බිඳ වැටෙමින් තිබු රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමයි. අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ සඳහා සමත් වී තිබෙනවා. අපේ දෙමාපියන් මුහුණ දුන් අත්දැකීම්වලට, අපේ දරුවන් මුහුණ නොදෙන රටක් අපි ගොඩනැගිය යුතුයි. ඔවුන් විඳි දුක් වේදනා අපේ දරුවන්ට හිමි වීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ අපේ දරුවන්ට හොඳින් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමයි.
රටක බොහෝ දේ රඳා පවතින්නේ ඒ රටේ ආර්ථිකය කොපමණ ප්‍රමාණයකින් ශක්තිමත්ද යන සාධකය මතයි. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ඒ රටේ බොහෝ දේ හොඳ වෙනවා. රටක් ආර්ථික වශයෙන් කඩා වැටිලා නම් අපරාධ, වංචා දූෂණ වැඩි වෙනවා, නීතියේ ආධිපත්‍යය කඩා වැටෙනවා. ඒ නිසා වැදගත්ම දේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීමයි. ඒ නිසා අපි ක්‍රමානුකූලව අපේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟමින් සිටියා. 2025 වසර ගත්විට ලංකාවේ ආර්ථික සාධකවල හැම එකකින්ම වැඩිම අගය එකතු කළ වසර බවට පත් වෙනවා. වැඩිම් රාජ්‍ය ආදායම් ඉපැයීම, 1977න් පසුව අඩුම අයවැය පරතරය, වැඩිම අපනයන ආදායම් ඉපැයු වසර සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම මුදල් ලැබුණු වසර සහ වැඩිම සංචාරයකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත් වෙනවා.










