නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු පුද්ගලයින් 06 දෙනෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් එම මත්පැන් ජාවාරමේ ප්‍රධාන සැකකරුට දින 02ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
වයස අවුරුදු 47ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි අදාළ ප්‍රධාන සැකකරු ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගෙන ඊයේ (08) මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ.
නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙකු මියයාම හා තවත් පුද්ගලයන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය විමර්ශන සිදුකරනවා.
විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 7 වනදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.










