විදෙස්

ඉරානයේ විරෝධතා තවත් ප්‍රචණ්ඩ වෙයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඉරානයේ අන්තර්ජාල පහසුකම් කපා හැරීම සහ මර්දනකාරී ක්‍රියා මගින් මරණ සංඛ්‍යාව වැඩි වීමත් සමගමෙසේ රට පුරා විරෝධතා උත්සන්න වීමට හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති බවයි.

එමෙන්ම මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුව බව ද සඳහන්.

ඊයේ (8) සවස ටෙහෙරාන් අගනුවර සහ ඉරානයේ දෙවන නගරය ලෙසින් සැලකෙන මෂාඩ්හි දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇති අතර, එය ආරක්ෂක හමුදා විසින් විසුරුවා හැරීමට දැඩි උත්සාහයක් ගෙන තිබෙනවා.

එය පාලනය කිරීම සඳහා රට පුරා අන්තර්ජාල විසන්ධි කිරීමක් ද සිදුකර ඇති අතර එත් සමගයි මෙම විරෝධතා දරුණු වී ඇත්තේ.

ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම, ආර්ථික අර්බුදය ඇතුළු කරුණු රැසක් මුල්කරගමින් මෙම විරෝධතා හටගෙන ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ මේ සම්බන්ධයෙන් 2022 න් පසු විශාලතම විරෝධතා ආරම්භ වූයේ දෙසැම්බර් 29 වන දින අගනුවර වෙළෙන්දන් තම වෙළඳසැල් වසා දැමීමත් සමඟ බවයි .

මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා අවම වශයෙන් විරෝධතාකරුවන් 34ක් මේ වනවිට මරණයට පත්ව ඇති බවත්, ඔවුන්ගෙන් පස් දෙනෙකු ළමුන් බවයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) අනාවරණය කර ඇත්තේ.

එසේම මේ වනවිට විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා ඉරානයේ බලධාරීන් “මිනිසුන් මරා දැමීමට පටන් ගන්නේ නම්” ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර ඇති අතර වොෂින්ටනය “ඔවුන්ට දැඩි ලෙස පහර දෙන” බවටයි අනතුරු අඟවා ඇත්තේ.

මෙම පණිවිඩය නිකුත් වූයේ ඉරාන ආරක්ෂක හමුදා විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බවට අයිතිවාසිකම් කණ්ඩායම් චෝදනා කිරීමෙන් පසුවයි.

එහිදී ආරක්ෂක හමුදා විරෝධතා ආරම්භ වූ දා සිට අවම වශයෙන් විරෝධතාකරුවන් 45 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඉන් අට දෙනෙකු බාල වයස්කරුවන් බවයි නෝර්වේ පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන ඉරාන මානව හිමිකම්හි නිරීක්ෂකයෙකු (IHR) පවසා ඇත්තේ.

තවත් රාජ්‍ය නොවන සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ බදාදා පැවති විරෝධතාවයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇති බවයි.

Shares: