දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර් පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.
අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
එමෙන්ම දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් මේ වනවිට ඩිජිටල් භාවිතය පිළිබඳ ළමා ආරක්ෂණය පැතිකඩ තුළින් අධ්‍යනයක් සිදු කර ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙළ කර ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය එය ඉදිරියේදී ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බවත් පැවසුවා.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් එම ආයතනය වෙත කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ගුරුවරුන්ගෙන් 92%ට ආසන්න ප්‍රමාණයකට මේ සඳහා අවශ්‍ය කරන පුහුණුව ද මේ වනවිට ලබාදී ඇති බවත් සඳහන් කළ හරිනි අමරසුරිය මෙනෙවිය මෙහිදී ප්‍රකාශ කළේ පසුගිය මාසවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සැලැසුම් කළ පරිදි ඇතැම් පළාත්වල ගුරුවරුන්ට එම පුහුණු ලබාදීමට නොහැකි වූ බවයි.
ඒ අනුව එම ගුරුවරුන්ට එක සහ හය ශ්‍රේණියේ පාසල් වාර ආරම්භවීමට පෙර එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය මෙහිදී සඳහන් කළා.
එමෙන්ම මෙම අධ්‍යාපන කටයුතු කිරීමේදී අන්තර්ජාල භාවිතය අවශ්‍ය නොවන බවත් එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවකාශය සලසාදී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින් අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවයි කියා සිටියේ.
එමෙන්ම ඉදිරියේදී සිසුන් ඇගයීම් පරිගණක යෙදවුමක් හරහා සිදු කළ යුතු බව ද ඇය මෙහිදී ප්‍රකාශ කළා.
එසේම අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන් 2025 වසරේදී ක්‍රියාත්මක කර ඇති බවත්, ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවයි.










