දේශීය

අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ‘Rebuilding Srilanka’ට තවත් මුදල් පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව ගේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන ව්‍යාපෘතියට සහාය වීමක් ලෙස, ඇමරිකා එක්සත් ජනපදයේ, මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වයෙන් “Rebuilding Srilanka අරමුදලට ” තවත් මුදල් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 52 ක මුදලකුයි.

එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, උපරතන පාරමිතා පදනමේ සභාපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම මත මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය සංවිධාන සහ සංගම්වල සාමාජිකයන් ගේ මෙන්ම විහාරස්ථානයේ දායක දායිකාවන් ගේ මූල්‍ය පරිත්‍යාග යටතේයි මෙම මුදල් රැස්කර ඇත්තේ.

එහිදී ඇමරිකානු ඩොලර් 17000 ක එම මුදල පසුගියදා මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ දී ප්‍රදානය කරනු ලැබුවේ පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ විසින් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාටයි.

මීට අදාළ චෙක්පත ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් පලකළ පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් තම මවුබිමේ සහෝදර ජනතාව ගේ ජීවිත නගා සිටුවීම සඳහා දායකත්වය ලබාදුන් සියළු ජනතාවට කෘතවේදිත්වය පළකර සිටින බවයි කියා සිටියේ.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ දායක දායිකාවන් සහ ශ්‍රී ලාංකීය ප්‍රජාවගෙන් සැදුම් ලත් සංවිධාන එක අරමුණක් යටතේ සිදු කළ මෙම ක්‍රියාදාමයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගෞරවය පුද කරන බවයි.

නිල නොලත් තානාපති වරයෙකු ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ දශක ගණනාවක් තිස්සේ පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ විශ්වාසය දිනාගනිමින් සිදුකරන සමාජ සත්කාරක සේවාව මහින්ද සමරසිංහ මහතා මෙහිදී සිහිපත් කර සිටියා.

මෙම අවස්ථාවට එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ නියෝජ්‍ය තානාපති මදුක වික්‍රමාරච්චි මහතා සහ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම් ලත් සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටි බව සඳහන්.

Shares: