ප්‍රංශයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ යෝජනාව ඇතුළත් පනත් කෙටුම්පත ප්‍රංශ ජාතික සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පහළ මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරිපත් වූ මෙම පනතට පක්ෂව ඡන්ද 116ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද ගණන 23ක්.
පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගත යුතු වනවා.
එය සම්මත වුවහොත්, වයස අවුරුදු 15ට අඩු ළමුන්ට Snapchat, Instagram සහ TikTok වැනි සමාජ ජාලා භාවිතා කිරීමට නොහැකි වනු ඇති.
ප්‍රංශයේ මෙම පියවර, ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කළ හැකි හානිය පිළිබඳ සිද්ධීන් වැඩි වීම හේතුවෙන් වූ ළමුන් සඳහා සමාජ ජාල සීමා කිරීමේ වර්ධනය වන ප්‍රවණතාවයේ කොටසක්.
එහිදී හානිකර යැයි සැලකෙන සමාජ මාධ්‍ය ලැයිස්තුවක් රජය විසින් සකස් කරනු ලබන අතර, අඩු හානිකර අඩවි භාවිතය සඳහා මවුපියන්ගේ පැහැදිලි අවසරය අවශ්‍ය වනු ඇති.
එමෙන්ම පසුගිය වසරේ අගභාගයේදී ඕස්ට්‍රේලියාවේ ද එවැනිම නීතියක් සම්මත කරනු ලැබුවා.
මේ අතර කනිෂ්ඨ සහ මධ්‍යම පාසල්වල දැනටමත් ක්‍රියාත්මක වන ජංගම දුරකථන තහනම ජ්‍යේෂ්ඨ පාසල් දක්වා දීර්ඝ කිරීමටයි මෙහිදී යෝජනා වී ඇත්තේ.
ඒ අනුව ජනාධිපති මැක්‍රෝන් අපේක්ෂා කරන්නේ එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ වන නව පාසල් වාරයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමටයි.
මෙම පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති මැක්‍රෝන් ප්‍රකාශ කළේ, “අපේ දරුවන්ගේ මොළය හෝ හැඟීම් විකිණීමට නැත”, “අපේ දරුවන්ගේ මානසික හා චිත්තවේගීය සෞඛ්‍යය, ඔවුන්ගෙන් මුදල් ඉපයීම එකම අරමුණ කරගත් පුද්ගලයින් අතට අපට භාර දිය නොහැක.” යනුවෙන්.











