දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මෙරටට පැමිණි IMF කණ්ඩායම සිදුකළ සංචාරය මේ වනවිට අවසන් කර තිබෙනවා.
මෙම කණ්ඩායම පසුගිය ජනවාරි 22 වනදායි දිවයිනට පැමිණියේ.
සංචාරය අතරතුර IMF කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කම්කරු අමාත්‍ය හා මුදල් සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපතිගේ ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ඇතුළු රජයේ සහ මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙම IMF කණ්ඩායම රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ, සිවිල් සමාජ සංවිධාන සහ පර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කර ඇත්තේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික හා සමාජ බලපෑම් පිළිබඳවයි.
මෙහිදී මෙම සංචාරය අතරතුර කණ්ඩායම යටිතල පහසුකම් හා ජීවනෝපායන්ට සිදු වූ හානි, ස්වභාවික විපත්ති සඳහා රාජ්‍ය මට්ටමින් ගන්නා මූල්‍ය ප්‍රතිචාර, මුදල් ප්‍රතිපත්තිය හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව විස්තීර්ණ සාකච්ඡා සිදුකළ බවයි Evan Papageorgiou මහතා සඳහන් කළේ.
එමෙන්ම, බලධාරීන්ගේ ඉදිරි ප්‍රතිපත්තිමය අරමුණු, මූල්‍ය අවශ්‍යතා, සහ Extended Fund Facility (EFF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නැවත ගොඩනැගීම සහ පුනරුත්ථාපන කටයුතු සඳහා IMF විසින් ලබා දිය හැකි සහාය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගෙන තිබෙනවා.
Papageorgiou මහතා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේදී මූල්‍ය සහ ණය ස්ථාවරත්වයේ ලබාගත් ප්‍රගතිය ආරක්ෂා කිරීම, රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම, ව්‍යාපෘති ප්‍රමුඛතා යළි සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හා සාමාජික ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටින බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට හැකි ඉක්මනින් IMF කණ්ඩායමක් යළි දිවයිනට එවීමටයි සැලසුම් කර ඇත්තේ.
IMF පවසන්නේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන්හිදී ශ්‍රී ලංකාව සමඟ IMF සහයෝගීතාවය සහ රටට සහාය වීමට ඇති සූදානම යළි තහවුරු කරන බවයි.











