ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් නොලැබීම හේතුවෙන් අද (02) පෙරවරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ගුරු සංවර්ධන නිලධාරීන් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සමඟ එක්ව මෙම විරෝධතාව සිදුකරන බවයි ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
එමෙන්ම ලංකා පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද 8 වන දිනටත් පැවැත්වෙනවා.
පාසැල්වල ඉගැන්වීම කටයුතු සිදු කරන ගුරු සංවර්ධන නිලධාරීන්, ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගියදා මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර අනතුරුවයි එය මාරාන්තික උපවාසයක් දක්වා තීව්‍ර කරනු ලැබුවේ.
මෙහිදී ලංකා පාසල් සංවර්ධ නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ද ලබා දී ඇති බවයි.
කෙසේවෙතත් සිය ගැටලුවලට විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් අද මෙලෙස විරෝධතාවක් සිදු කරන බවයි එම සංගමයේ විරාජ් මනරංග මහතා සඳහන් කළේ.
එසේම ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් විමසා බැලීමට සර්ව ජනබලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උපවාසයේ නිරත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් හමුවීමට ගොස් තිබුණේ අද පෙරවරුවේයි.
මේ අතර බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අධ්‍යාපනවේදී උපාධිධාරී එකමුතුව විසින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිධාරීන් කඩිනමින් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධතාව ආරම්භ කළ බවයි අධ්‍යාපනවේදී උපාධිධාරී එකමුතුව පැවසුවේ.











