රට තුළ වර්ධනය වෙමින් පවතින ඝාතන, වෙඩි තැබීම් සහ සංවිධානාත්මක අපරාධ සිදුවීම් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයක් යොමු කළේය.
ඔහු ස්ථාවර නියෝග 27(2) යටතේ රජයෙන් ප්‍රශ්න කරමින් සඳහන් කළේ, සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාරක්ෂිත වීමත් සමඟ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව පිළිබඳ ජනතා විශ්වාසය කම්පනයට ලක්ව ඇති බවයි. ඒ හේතුවෙන් ශක්තිමත් සහ කාර්යක්ෂම පොලිස් සේවයක අවශ්‍යතාව දැඩිව මතු වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
ශ්‍රී ලංකා පොලීසිය තුළ එක් එක් තනතුරු සඳහා පවතින පුරප්පාඩු සංඛ්‍යාව, එම පුරප්පාඩු පවතින කාලය සහ ඒවා පුරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
පසුගිය දශකය තුළ සිදුවූ වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ වර්ෂ අනුව ඉදිරිපත් කරන ලෙසත්,
* සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්
* නඩු පැවරීම්
* මෙතෙක් විමර්ශන අවසන් නොවූ සිදුවීම්
වෙන් වෙන්ම ඉදිරිපත් කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා තිබෙනවා.
පුද්ගලයන් 1000කට 2.2ක පොලිස් නිලධාරී අනුපාතයක් තිබිය යුතු බවට ජාත්‍යන්තර ප්‍රමිතියක් පවතින බවත්, එම ප්‍රමිතිය ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලෙසත් විපක්ෂ නායකවරයා සඳහන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ඝාතනය කිරීමට අදාළ දිගුකාලීනව අවසන් නොවූ සිද්ධීන් සම්බන්ධයෙන් ස්වාධීන හෝ විශේෂ විමර්ශන කමිටු පත් කර ඇත්නම් ඒවා පිළිබඳ තොරතුරු සහ ප්‍රගති වාර්තා ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා තිබෙනවා.
අවසානයේ, රට තුළ පවතින ඝාතන රැල්ල නතර කිරීමට නව, සවිබල ගැන්වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් රජයෙන් ඉල්ලා තිබෙනවා.











