මහා සංඝරත්නයට අපහාස කරන හා අගෞරව දක්වන ප්‍රකාශවලට එරෙහිව ජනතාව පෙරට පැමිණිය යුතු කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද ශ්‍රී ජයවර්ධනාරාම මහා විහාරය හි පැවැති ආදි කර්තෘවරුන්ගේ ගුණ සැමරුම් පිංකම් මාලාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම හා මහා සංඝරත්නය ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි.
මහා සංඝරත්නයට අගෞරව වන ආකාරයේ ප්‍රකාශ “අශීලාචාර” බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, එවැනි ප්‍රකාශ නීතිමය පියවරට ලක් කළ යුතු බවද කියා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට ලබා දී ඇති මුල් තැන රකිමින් සෙසු ආගම් හා සංස්කෘතීන් ආරක්ෂා කරන එක්සේසත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව නිරාගමික රටක් නොවන අතර විවිධ ආගම් අදහන ජන කොට්ඨාස සමඟ සමාජ සමාධානය ශක්තිමත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, රජය විසින් ගෙන ආ ගල් අඟුරු නැව් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල කළ විපක්ෂ නායකවරයා, එම ආනයන “තත්ත්වයෙන් බාල” බවට දත්ත මත පදනම්ව ප්‍රකාශ කළේය.
ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්ත වැඩසටහන් පවත්වාගෙන යාමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය. කර්මාන්ත ශාලා වැසී යාම හේතුවෙන් දහස් ගණනකගේ රැකියා අනතුරට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.










