ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථානයක් වන ලක්විජය ගල් අඟුරු බලාගාරය (නොරොච්චෝලේ) සම්බන්ධයෙන් ගැටළුකාරී අනතුරු ඇඟවීමක් ශක්ති විශ්ලේෂක ආචාර්ය විධුර රළපනාව විසින් ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ, මෑතකදී ආනයනය කළ අඩු ගුණාත්මක ගල් අඟුරු දිගු කාලයක් භාවිත කිරීම හේතුවෙන් බලාගාරයේ විදුලි උත්පාදන ටර්බයින් සහ අනෙකුත් ප්‍රධාන යන්ත්‍රාංග වලට බරපතළ හානි සිදුවිය හැකි බවයි.
දැනට පවතින තොග අවසන් වන තුරු, දකුණු අප්‍රිකානු ගල් අඟුරු සීමිත පැය 10–16 ක පමණ කාලයකට භාවිත කරමින් සිටින නමුත්, මාර්තු 1 වනදා සිට සම්පූර්ණයෙන්ම නව ගල් අඟුරු මත පදනම් විය යුතු වන බවත්, ඔහු පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන්ම වියළි කාලසීමාව තුළ, බලාගාරයේ ජනන ඒකක 2ක් හෝ 3ක් අක්‍රිය වුවහොත්, එය ජාතික විදුලි ජාලයට දැඩි බලපෑමක් ඇති කරමින් විදුලි ගාස්තු ඉහළ යාමක් ද ඇති විය හැකි බවද ඔහු අනතුරු අඟවා තිබෙනවා.
ඉංජිනේරු උපදේශ ලබා ගනිමින් වහාම නිවැරදි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ආචාර්ය රළපනාව, මෙය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ජාතික විදුලි ආරක්ෂාවට බරපතළ අවදානමක් උද්ගත විය හැකි බව අවධාරණය කර තිබෙනවා.











